පහතරට තෙත් කලාපයේ වර්ග කිලෝමීටර් 10 ක පමණ ප්‍රදේශයක බැලුම් ගල කොඩි ගල සහිත ගල්ලෙන කන්ද පාමුල පිහිටි ගල්ලෙන රජ මහා විහාරය රුක් ගොමුවෙන්ද සියොත් කැලගෙන්ද,වන සිවුපාවුන්ගෙන්ද රූරා හැලෙන දිය දහරින් සුපෝෂිත පාරිසරික වටිනාකමින් මෙන්ම පොළොන්නරු යුගය කරා දිවෙන උසස් ඓතිහාසික වටිනාකමකින්ද යුත් අසිරිමත් පින් බිමකි.
බුලත්සිංහල පාහියන්ගලට ආසන්න පිහිටීම නිසා සාධක නැතත් ප්රාග් මානවයා සිටි බවට මිහඳු හිමි ලක්දිව සිටි සමයේ අට සැට ලෙන් සම්බන්ධ පුරා වෘත්ත හා මෙම ලෙනේ කොටා ඇති කටාරම් අනූව මෙහි රහතන් වහන්සේලා සිටි බවට අනුමාන කල හැක.
විහාරය අසල බලකොටුවක් තිබූ බවට සාධක හමුවන අතර කඳු මුදුන් සතකින් වටවූ විහාර භූමිය තුල රජ කුමරුවන් සේනා සංවිධානය කරන්නට ඇති බවටද පොළොන්නරු මූලාශ්‍ර වලින් අනුමාන කළ හැකිය.
ඓතිහාසික ලේඛන අනූව පැරකුම් රජ දවස පතිරාජ සෙනවි දෙල් වනයක් උගුළුවා කොස් වනයක් සිටවා එහි තෙමහල් වෙහෙරක් කළ බව සඳහන් වන අතර ඒ මෙම විහාරය යයිද පිළිගැනීමක් ඇත.
පැරණි බුදු මැදුරේ ඇති නටබුන්ව තිබූ 18 වන සියවසේ ප්‍රතිසංස්කරණය කළ සැතපෙන බුදු පිළිමය විශිෂ්ඨ නිර්මාණයකි.
ස්වභාවධර්මයේ අපූර් නිර්මාණයක් වන කුඩයක් දිග හැරීම හෝ පිපුණු බිම් මලකට සමාන කටාරම් කෙටූ ලෙන තුල බුදු සිරිතේ සිතුවම් බටහිර ශ්රාස්ත්රාලීය චිත්‍ර ශෛලිය අනුගමනය කරමින් එම සාර්ලිස් මහතා ඉතා විශිෂ්ඨ අයුරින් සිදු කර ඇත.
කවාකාරව විහිදෙන ලෙන තුල සූවිසි විවරණය සිදුහත් උපත,කේෂ ඡේදනය,වෙසතුරු සිරිත,මහින්දාගමනය, පරිනිර්වාණය වැනි අවස්ථා උසස් මූර්තිමය ලක්ෂණ පෙන්නුම් කරන ශරීර ලක්ෂණ වලින් පිරිපුන් ජීවමාන ස්වරපයෙන් නිර්මිත බැවින් සැදැහැතියන් තුල බුද්ධාලම්බන ප්රීතය ඇති කරන කලා කෘතියක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වී ඇත.
වියන් තලයද මල් මෝස්තර, හංස පූට්ටුව, නව නාරි කුංජනය,පංචනාරි සටය වැනි උඩරට සම්ප්රදායේ ලක්ෂණ වලින් යුතු මනරම් කලාගාරයක ස්වරූප විහාරයට එක් කර ඇත.
ජනප්‍රවාදවල එන ලෙන වටා යාමට ස්වභාවිකව නිර්මාණය වී තිබූ ගල් කුළු දේව හාස්කමකින් දෙකඩ වූ කතා පුවත් සමග ප්‍රසිද්ධ වූ වසරේ මුල් දිනයේ ජීවමාන ප්‍රමණයේ දේව ප්‍රතිමා දැක පුද පූජා පවත්වා දහස් සංඛ්‍යාත පිරිසක් සෙත සලසා ගනු ලබන නිති පතා බැතිමතුන්ගේ භක්ති ආදරයට පාත්‍ර වූ පස්ගම් දෙවොල අනුහස් හා හාස්කම් සහිත ස්ථානයක් ලෙස සුප්‍රසිද්ධය.
වන අරණ මැද කිරි පැහැයෙන් බැබලෙන විසි වන සියවසේ නිර්මිත ශාරීරික ධාතූන් වහන්සේ තැන්පත් චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවිසල් වාස්තු විද්‍යාත්මක දැවැන්ත ගල් කණු දැව වහල සහිත ප්රතාපවත් පෙනුමැති ගොඩනැගිල්ලක් වන ධර්ම ශාලාව ශෛලමය ඝණ්ඨාර කුළුණ ,වත්මන් ධාතු මන්දිරය හා කෞතුගාරය විහාරයේ ඓතිහාසික වටිනාකම් වලට සාක්ෂි දරයි.
විහාරයට ඉහලින් ඇති කඳු හතක් සහිත කඳු පක්තිය මෙන්ම ගල්ලෙන කන්ද රක්ෂිතය අරලිය,සීන් සිද්ද ,සමන් පිච්ච පුෂ්පයන්ගෙන්ද ගිරා, සැලළිහිණි, මලිති බටිති සියොත් කැලගෙන්ද අනේක විධ ලියවැල් වලින්ද ඔබ මොබ යන ලේන් රිලා වඳුරු සිවුපා සතුන්ගෙන් විචිත්‍ර වූ වන ගොමු සහිත ඖෂධ ගබඩාවක් බඳු අපූරු සොබාදහම් නිමැයුමකි.
මුලින් අක්කර හතක පමණ භූමි ප්‍රමාණයක පැතිරිනු වන පෙදෙස 1993 වන රෝපණ ව්‍යාපෘතියත් සමග අක්කර 15ක් දක්වා විශාලව ඇත.1997 සිනෙරු ජාතික සම්මාන උලළේදී ලංකාවේ විශිෂ්ඨතම පරිසර වැඩ සටහන ලෙස ගල්ලෙන පරිසර ව්‍යාපෘතිය සම්මානයට පාත්‍ර වී තිබේ.
විහාරයට ඉහළ වන ගොමුවත් එහි උල්පත් වලින් ගලා එන සිසිල් ජලයෙන් අලංකාර මසුන්ගෙන් වැව් තලය විහාරයට එක් කරන සදාහරිත අලංකාරය හා නිහඩ සුපහන් බව ඇසූ දුටුවන්ගේ සිත් සනහාලයි.
දේශීය ග්‍රාමීය සංස්කෘතිකාංග ඔප් නංවන වසරක් පාසා පැවැත්වෙන පෙරහැරත් ශාසනයේ චිරස්ථිතිය සදහා ධර්මධර විනයධර භික්ෂු පරම්පරාවක් නිර්මාණය කරන පිරිවෙනත් එහි පුස්තකාලයත් 1948 වසරේ සිට ඇරඹි දහම් පාසලත් ශත වර්ෂ ගණනාවක වනාන්තරය විසින් ගිලගෙන තිබූ වරකාගොඩ ගල්ලෙන රජමහා විහාර ඓතිහාසික පූජනීය පාරිසරික තොරතුරු කිසිදා ලක් ඉතිහාසයෙක් නොමැකීමට ඉඩ සදනු ඇත.